නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1500 කට අධික තොගයක් සමග සැකකරුන් 05ක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් සඟවා තිබූ වියලි කහ කිලෝ 1599ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ කැබ් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ සිලාවතුර පොලීසිය එක්ව අද අළුයම (2021 අගෝස්තු 27) සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක්කර එම නිවස තුල සඟවා තිබූ නීතිවිරෝධි ලෙස රැගෙන ආ උර 33ක අසුරන ලද වියලි කහ කිලෝ 1141ක පමණ තොගයක් සහ සැකකරුවන් පස්දෙනෙකු (05) එම වියලි කහ තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන කැබ් රථයක් ද සමගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එමෙන්ම, ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය කළපුවේ ඉප්පන්තිව් දුපතෙහි අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් එම දුපතේ සඟවා තිබු උර 21ක අසුරන ලද වියලි කහ කිලෝ 458ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 48ත් අතර වයසේ පසුවන සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, සිලාවතුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් වියලි කහ, සැකකරුවන් සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, කල්පිටිය ඉප්පන්තිව් දුපතේ දී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරිනීතිමය කටයුතු සදහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.