නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්න මුහුදේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටි කාන්තාවකගේ ජීවිතය නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකුගේ (04) අවධානය සහ උත්සාහය හේතුවෙන් බේරා ගැනීමට හැකි විය.

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්නව පිහිටා ඇති නාවික හමුදා “මාලිමා ක්ලබ් හවුස්“ උත්සව ශාලාවේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දෛනික කටයුතු සිදු කරමින් සිටි නාවික හමුදාවේ සූපවේදී රාජකාරී සිදු කරනු ලබන සූපවේදී එම්බීපී මාරසිංහ නාවිකයා හට එම උත්සවශාලාව ඉදිරිපස මුහුදේ කාන්තාවක් දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටින බව නිරීක්‍ෂණය වී ඇත. වහාම ක්‍රියාත්මක වූ සූපවේදී එම්බීපී මාරසිංහ නාවිකයා ඒ අසළ සිටි ප්‍රධාන සුළු නිලධාරී (සූපවේදී) එච්එම්එස්එන් කුමාර සහ නායක නැවි නිශාන්ත යන අයගේද සහයෙන් ගල්පරයක් අසල මුහුදේ ගිලෙමින් සිටි මෙම කාන්තාව මහත් පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට සමත් විය.

අනතුරුව, “මාලිමා ක්ලබ් හවුස්“ උත්සව ශාලාවේ රාජකාරි නියුතු සුළු නිලධාරී ඊඑම්එස් ඒකනායක විසින් එම කාන්තාව සඳහා අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දෙන ලදී. නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් දිවි ගලවා ගත් කාන්තාව වයස අවරුදු 50ක් වන පාසල් පාර, කටුනේරිය ලිපිනයේ පදිංචි කාන්තාවක් බවට හඳුනා ගන්නා ලද අතර, අදාල සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා එම කාන්තාව එම පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගන්නා ලදි.

සූපවේදී අංශයේ නාවිකයින් ලෙස රාජකාරි සිදු කරමින් සිටියදී වුවද, නාවික පුද්ගලයෙකු ලෙස ඔවුන් ලද පිහිණුම් ප්‍රවීණතාවය සහ අවට ප්‍රදේශය පිලිබඳ නිරන්තර අවධානයෙන් යුතුව සිටීමෙන් මෙලෙස ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම සැමට ආදර්ශවත් ක්‍රියාවකි.