රුපියල් මිලියන 31කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 15 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 103යි ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මගින් මෙරට මුහුදු තීරයේ මුරසංචාර වැඩිකර නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත 04 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 415 වේග ප්‍රහාරක මුර යාත්‍රාව සමඟ පී 166 සහ පී 015 වෙරළබඩ මුර යාත්‍රා එක්ව 2021 ජූලි 15 රාත්‍රී කාලයේ කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර එම ඩිංගි යාත්‍රාව පී 166 යාත්‍රාව මගින් පරීක්ෂා කිරීමට යාමේදී සැකකටයුතු ලෙස පාර්සල් කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සහ කරන ලදී. එහිදී පී 015 යාත්‍රාව මගින් සැක කටයුතු ඩිංගි යාත්‍රාව සැකකරුවන් තිදෙනෙකු (03) සමගින් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, පී 166 වෙරළබඩ මුර යාත්‍රාව සහ පී 415 වේග ප්‍රහාරක යාත්‍රාව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී ජාවාරම් කරුවන් විසින් මුහුදට දමනලද කිලෝ 103 ග්රෑම් 750 ක්‍ පමණ බරැති කේරල ගංජා සහිත පාර්සල් තුනක් (03) ක්‍ සොයා ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 31 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.