නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්‍ෂණය කරයි

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වන අතර, එම නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් කොටස් වෙරළ තීරයට පාවි ඒම හේතුවෙන් වෙරළ තීරයට සිදුවන බලපෑම අවම කිරීම සහ එම ද්‍රව්‍යන්ගේ අඩංගුවිය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ෂ වීමෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලදී.

ඒ අනුව ආපදාවට පත් නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් හා සුන්බුන් ඇතුළු ද්‍රව්‍ය කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවක් ඇති දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරිමේ හා එම සුන්බුන් ඇතුළු විවිධ ද්‍රව්‍ය ජනතාව විසින් එක්රැස් කිරීම වැළැක්වීම සඳහා වූ විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙම වැඩපිළිවෙල කොල්ලුපිටිය සිට පානදුර දක්වා වෙරළ තීරයේද ක්‍රියාත්මක වේ.

MV X-PRESS PEARL නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවෙමින් පවතින හානිය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් අද (2021මැයි 27) නාගරික සංවර්ධන වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා මහතා, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය, ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව නාවික හමුදාධිපති වෙරළ තීරයේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වී වෙරළ පරිසරයට සිදුවන පාරිසරික බලපෑම පාලනය කිරීම සඳහා වැඩි දුර උපදෙස් ලබා දීමට ද කටයුතු කෙරිණි.

මේ වන විට ශ්‍රිලංනානෞ ‘ගජබාහු’ නෞකාව හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි පාලනය කිරීමේ හැකියාවෙන් සමන්විත ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වයිබාව්’ (ICGS Vaibhav) යන නෞකා ද්විත්වය ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ආපදා මර්ධන මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටී. තවද, මෙම ආපදා තත්ත්වයට සහය වීම සඳහා පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වජ්රා’ (ICGS Vajra) නෞකාව වෙතින් ගිනි නිවීම සඳහා භාවිතා කරන AFFF, OSD සහ DCP වර්ගයන්ට අයත් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය තොගයක් 2021 මැයි මස 26 වන දින කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමෙන් පසු නැවතත් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත්ව යන ලදි.

‍එමෙන්ම ඉන්දීය ‍වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝණිය (Dornier) වර්ගයේ ගුවන් යානාවක් පෙර දින සහ අද (2021 මැයි 27) ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි ගුවන් නිරික්‍ෂණ චාරිකාවාරයක් සිදු කර සාගරික දුෂණය පාලනය කිරීමේ මෙහෙයුම සදහා අවශ්‍ය තොරතුරු ලබා දීමට ද කටයුතු කෙ‍රිණි.

තවද, ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන බහාලුම් හා සුන්බුන් කොටස් වෙරළ තීරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ අවධානයකින් යුතුව තවදුරටත් කටයුතු කරනු ලබයි.