කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 25 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වි ඇති අතර, නෞකාව මතින් මුහුදට වැටෙන බාහාලුම් සහ විවිධ කොටස් මුහුදේ රළ ස්වභාවය අනුව පාවී වෙරළ තීරයට ගොඩගසන බව නිරික්‍ෂණය වේ.

ඒ අනුව ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන විවිධ කොටස් පිළිබද නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමග විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, වෙරළ පරිසරයට සිදු වන බලපෑම සොයා බැලීම සහ මහජනතාව දැනුවත් කිරිම සදහා නාවික හමුදාව හා වෙරළ ආරක්‍ෂක දේපාර්ථමේන්තුව එක්ව ආපදාවට පත් නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවයක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ‍එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහිද නාවික හමුදාව මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.

අද (2021 මැයි 26) මීගමුව තලාහේන වෙරළට හානි වු බාහාලුමක් ගොඩගසා තිබු අතර, එම බහාලුම ආපදාවට පත් නෞකාවෙන් මුහුදට වැටුණු බාහාලුමක් බවට විශ්වාස කෙරේ. ආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

තවද, ශ්‍රිලංනානෞ සිදුරළ නෞකාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් සාගර පරිසර හානි පාලනය කිරිමේ හැකියාවෙන් සමන්විත ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘විබාව්’ (ICGS Vaibhav) යන නෞකා ද්විත්වය ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව තිබේ.