නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙකක් (02), වියලි කහ කිලෝග්‍රෑම් 2790 පමණ තොගයක්, එන්සාල් කිලෝග්‍රෑම් 803 ක පමණ තොගයක්, ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි කුදිරමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයන්හීදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙ‍කක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එක් යාත්‍රාවක තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ පාර්සල් 425ක අසුරන ලද එන්සාල් කිලෝග්‍රෑම් 425 ක පමණ ප්‍රමාණයක් ඇතුළු තවත් ආහාර හා පරිභෝජන ද්‍රව්‍යයන් සමඟ යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 07 ක් ද, 2021 අප්‍රේල් 28 වන දින නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද යාත්‍රාවේ තිබූ මලු 93 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2790 ක පමණ තොගයක් සහ මලු 16 ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් 378 ක ප්‍රමාණයක් සමඟ යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 05 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස ඉන්දීය ඩව් යාත්‍රාවන් මඟින් රැගෙන එන ලද එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් සැළසුම් කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදාභාරයේ තබා ගැනීමට කටයුතු කළ අතර, පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය ජාතිකයින් 12 දෙනා සහ ඩව් යාත්‍රාවන් ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමට කටයුතු කරන ලදී.

අන්තර් ජාතික මුහුදු සීමාව හරහා ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීමට සහ එම ජාවාරම් කටයුතු හේතුවෙන් සිදුවිය හැකි කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ මුර සංචාර සිදු කරමින් සිටී.