තවත් තහනම් ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් වලකයි

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 17 සිට 20 දක්වා මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේ, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින් මන්නාරම කුඩිඉරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අප්‍රේල් 19 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි උර 15 ක අසුරා තිබූ වියලි කහ කිලෝ 543 ග්‍රෑම් 700 ක් (තෙත බර සහිත), සැකකරුවන් ‍දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි. තවද, අප්‍රේල් 20 වන දින පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමන ලද වියලි කහ කිලෝ 258 ග්‍රෑම් 500 ක් සහිත (තෙත බර සහිත) උර 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, බටහිර නාවික විධානය මගින් මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේදී 2021 අප්‍රේල් 17 වන දින සිදුකළ තවත් මෙහෙයුමකදී නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කර එම ඩිංගි යාත්‍රාවන් තුළ උර 14 ක අසුරා සඟවා තිබූ වියලි කහ කිලෝ 461 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ මීගමුව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලදි. මීගමුව කළපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කළ අතර, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.