නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 10 වන දින අළුයම් කාලයේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 770 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානය මගින් මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම මෙහෙයුමේදී ගොඩබිම දෙසට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රාවන් තුල සඟවා තිබූ පාර්සල් 22 ක් තුල අසුරන ලද බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 770 ක පමණ ප්‍රමාණයක්, එනසාල් කිලෝ 05ක පමණ ප්‍රමාණයක් සහ අදාල ඩිංගි යාත්‍රාවන්හි සිටි සැකකරුවන් 06 දෙනෙකු සමඟ ඔවුන් සතුව තිබූ රුපියල් 155,000.00 මුදලක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

පවතින කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් සිදුකල මෙ‍ම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් බංගදෙනිය සහ අන්දරගම ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, ඩිංගි යාත්‍රා, බීඩි කොළ, එනසාල් සහ සැකකරුවන් සතුව තිබූ මුදල් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.