වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන නීති විරෝධී ධිවර කටයුතු මැඩ පැවැත්වීමට නාවික හමු‍දාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය සතිය තුල නැගෙනහිර නාවික විධානය තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මසුන් ඇල්ලීම සඳහා සකස් කරන ලද වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඇතැම් පුද්ගලයින් විසින් පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ජීවත් වන කුඩාම මත්ස්‍යාගේ සිට සියළුම මුහුදු ජීවීන් සහ කොරල්පර විනාශ වීම මගින් සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට හා පැවැත්මට විශාල හානියක් ඇති වේ. පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන මෙම නීති විරෝධී මසුන් මැරීම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන රටේ ආර්ථිකයට ශක්තියක් වන බහුතර ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්න අඩුවීම කෙරෙහිද විශාල බලපෑමක් එල්ල කරනු ලබයි. ඒ අනුව, සාගර පරිසරයේ ජෛව විවිධත්වය මෙන්ම එහි පැවැත්ම ආරක්‍ෂා කිරීම උදෙසා සහ නීත්‍යානුකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන මෙරට බහුතර ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්‍ෂිත කිරීමේ අරමුණෙන් පුපුරණ ද්‍රව්‍ය භාවිතය ඇතුලු අනෙකුත් සියළුම නීති විරෝධී පන්න ක්‍රම මගින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2021 අප්‍රේල් 05 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රබර් ටියුබයක් යොදාගනිමින් ජලය කාන්දු ‍නොවන ලෙස සකස් කරන ලද ඇසුරුමක් තුළ අසුරා බෝයාවක ආධාරයෙන් මතුපිටට නොපෙනෙන පරිදි ජලයේ ගිල්වා තිබූ වෝටර්ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය (Water Gel Sticks) තුන බැගින් යොදා සකස් කරන ලද පිපුරුම් උපාංග 04ක් (Charges), දිග අඟල් 03ක් පමණ වන සේවා නූල් 06 ක් සහ විදුලි නොවන ඩෙටනේටරයක් (01) සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

රබර් ටියුබ් යොදා ජලය කාන්දු නොවන පරිදි ගෘහස්තව සකස් කරගන්නා ලද ඇසුරුමක පුපුරණ ද්‍රව්‍ය රඳවා සාගර පරිසරය තුළ මතුපිටට නොපෙනෙන පරිදි මෙලෙස ගබඩා කර තැබීම මගින් තහනම් පන්න ක්‍රම සොයා නාවික හමුදාව ප්‍රමුඛ නීති විරෝධී ධිවර කර්මාන්තයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ධීවර තොටුපල වලදී මෙන්ම මුහුදේදී සිදු කරන පරීක්‍ෂා කිරීම් වලට ලක්නොවී සාගර පරිසරය විනාශ කරමින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් මැරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නිරතවීම මෙම සුළුතර පිරිසගේ අරමුණ වී ඇත.

එමෙන්ම, කුච්චවේලි පොලීසිය හා එක්ව අප්‍රේල් පළමු වන දින (01) ත්‍රිකුණාමලය එරක්කන්ඩි ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 82 ක් සමඟ එක් සැකකරුවෙක් ද මාර්තු 27 වන දින පොඩුවකට්ටු ප්‍රදේශයේදී වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 01ක් ‍සමඟ තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

සාගර පරිසරය සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්‍ෂිත කිරීම උදෙසා මෙවැනි නීති විරෝධී පන්න ක්‍රම මගින් ධීවර කටයුතු වල නිරත පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව ධීවර ප්‍රජාවගේද සහයෝගය ලබා ගනිමින් ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.