මහා අනතුරක් වලකමින් දික්ඕවිට වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වේ

දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක අද පස්වරුවේ (2021 මාර්තු 29) ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය කටයුතු කෙරිණි.

අද (2021 මාර්තු 29) පස්වරුවේ දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ ‘ලංකා මාතා’ (IMUL-A 0691- CHW) නමැති බහුදින ධීවර යාත්‍රාව තුළ හදිසි ගින්නක් හටගෙන ඇති බවට දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අනුඛණ්ඩය වෙතින් බටහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත කල දැනුම්දීමකට අනුව, නාවික හමුදා ගිනි නිවීමේ රථ දෙකක් සමඟින් ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් කඩිනමින් දික්ඕවිට ධීවර වරාය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. එහිදී කොළඹ මහ නගරසභා ගිනි නිවීමේ ඒකකය, දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අනුඛණ්ඩයේ සාමාජිකයින් සහ ධීවර වරායේ පිරිසකගේ ද සහාය ඇතිව ධීවර යාත්‍රාවේ ඇති වූ ගින්න මැඩපවත්වා වරාය තුළ නවතා තිබූ අනෙකුත් යාත්‍රා වෙත ගින්න පැතිරීම වැලැක්වීමට කටයුතු‍ කෙරිණි.

තවද, මෙම හදිසි ගින්න හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අනුඛණ්ඩයේ සහයෙන් ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහල් වෙත පිටත් කර හැරීමට ද කටයුතු කරන ලදි.