මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 මාර්තු මස 24 වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් අත්අඩංගුවට ගැනිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මගින් යාපනය, කෝවිලන් ප්‍රදේශයට නාවික සැතපුම් 03ක් පමණ ආසන්නයෙන් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි විශාල ප්‍රමාණයේ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) එහි සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාව අශ්ව බල 280 වූ එන්ජිමකින් සමන්විත අඩි 75ක දිගකින් සහ අඩි 22 ක පළලින් යුක්ත වානේ තහඩු භාවිතයෙන් නිශ්පාදනය කළ යාත්‍රාවක් බවට නිරීක්‍ෂණය වන අතර, එහි තිබූ අනෙකුත් ධීවර ආම්පන්න සමඟ Trawling පන්න ක්‍රමය භාවිත කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1030ක පමණ ප්‍රමාණයක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

තවද, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයට නාවික සැතපුම් 07ක් පමණ සහ ඉරණතිවු දූපතට නාවික සැතපුම් 05 ක් පමණ ආසන්නයෙන් Trawling පන්න ක්‍රමය භාවිත කරමින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි තවත් ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02), ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මේ අතර, නැගෙනහිර නාවික විධානය මගින් අන්තර් ජාතික මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 62ක් පමණ මෙරට මුහුදු තීරයට තුළට ඇතුලු වී මුලතිවු ප්‍රදේශයට මුහුදු සැතපුම් 07.5ක් සහ 08.5ක් පමණ ආසන්නයෙන් Trawling පන්න ක්‍රමය භාවිත කරමින් අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි තවත් ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02), එහි සිටි ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස විදේශීය ධීවරයින් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුලු වී Bottom Trawling වැනි තහනම් පන්න ක්‍රම යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මගින් පාරිබෝජනයටද නුසුදුසු ඉතා කුඩා මසුන් ධීවර දැල්වලට හසුකර ගැනීම මගින් එම මත්ස්‍යයන් ගේ පැවැත්මට සහ එම මුහුදු ප්‍රදේශයේ ස්වාභාවික සාගරික පරිසරයට ඉමහත් තර්ජනයක් සිදුවන අතර, එමඟින් උතුරු ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ලාංකික ධීවරයන්ගේ ජීවිකාව සඳහාද දැඩි බලපෑමක් එල්ල වේ. මෙවැනි අනවසර ධීවර කටයුතු මීට පෙර වාර්තා වූ අවස්ථාවන්හීදී ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට ද නාවික හමුදාව කටයුතු කර ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 05 සහ ඉන්දීය ජාතිකයින් 54 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශයන් වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩ මුර සංචාරයන්හි නිරත වෙමින් සිටී.