නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 මාර්තු 10 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් මාර්තු 10 වන දින යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාකිරීමේදී, එම යාත්‍රාව තුළ මළු 04 ක පාර්සල් 52ක් වශයෙන් අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. මෙහිදී එම කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 42.3ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 31 යන වයස් වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.