මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

‍උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම මාන්තේ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ජාවාරම් කරුවන් විසින් මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක ස්ථාන දෙකක (02) ගෝනි උර දෙකක් (02) තුල බහා සඟවා තිබූ පාර්සල් 32 ක් තුළ අසුරන ලද කේරළ ගංජා කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 23කට අධික වෙතැයි විශ්වාස කෙරේ. තවද මෙම ප්‍රදේශයේදීම නාවික හමුදාව පසුගිය ජනවාරි 26 දින ද ජාවාරම් කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කල අතර, සැකකරුවන් සොයා මේ වන විට විමර්ශණ ආරම්භ කර ඇත.