ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්ව ඇත.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ ක්ලින්කර් (Clinker) මෙට්‍රික් ටොන් 33000කට අධික ප්‍රමාණයක් පටවා ඇති අතර, ඉන්ධන මෙට්‍රික් ටොන් 720 ක පමණ ප්‍රමාණයක් ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre) වෙත වාර්තා වූ වහාම අද (2021 ජනවාරි 23) දහවල් හම්බන්තොට සහ ගාල්ල වරායන්හි සිට නාවික හමුදා නෞකාවක් සහ යාත්‍රාවක් අනතුර වූ මුහුදු ප්‍රදේශයට පිටත් කරන ලද අතර, කිමිදුම් කරුවන් රැගත් එම නාවික හමුදා නෞකාව සහ යාත්‍රාව මේ වන විට MV Eurosun නෞකාව ආසන්නයට ළඟාවී මූලික විමර්ෂණ කටයුතු ආම්භකර ඇත. එම මූලික විමර්ෂණයන්ට අනුව නෞකාවේ බඳට හානි සිදුවී ඇති බවට වාර්ථා නොවන අතර, නෞකාව තුලට ජලය කාන්දු වීම හෝ සාගරයට ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැත.

තවද, නාවික හමුදාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් නිරීක්‍ෂණ යානාවක් ද යොදවා අවශ්‍ය ඡායාරූප දත්ත ලබා දෙන ලදි. නාවික හමුදා මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මෙම කටයුතු අධීක්‍ෂණය කරමින් සිටී.

ඡායාරූප අනුග්‍රහය : ශ්‍රී ලංකා ගුවන් හමුදාව