“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 19 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

අනතුර හේතුවෙන් අතුරුදන්වු ධීවරයින් සොයා සිදුකරන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුල තිබී ධීවරයින්ගේ මළ සිරුරු දෙකක් (02) සොයා ගැනීමට අද (2021 ජනවාරි 20) දහවල් සමත් විය.

මෙලෙස සොයා ගත් මළසිරුරු මේ වන විට නාවික හමුදා යාත්‍රාවක් මඟින් ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරමින් සිටින අතර, එම මළ සිරුරු සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සඳහා අදාල අංශයන් වෙත භාරදීමට නියමිතව ඇත. එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් අනතුරට පත් තවත් ධීවරයින් සිටී දැයි සොයා නාවික හමුදාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ සිදුකරමින් සිටී.