අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 04 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 දෙසැම්බර් 20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් සීමා වී තිබූ, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් විදෙස් ධීවරයින් විසින් සිදු කරනු ලබන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් පසුගිය සතියේ සිට නැවත ආරම්භ කිරීමත් සමඟ, ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් සහ ඉන්දීය ජාතිකයින් 36 දෙනෙක් දෙසැම්බර් 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි. ඒ අනුව, අද දින උතුරු නාවික විධානය මගින් එළුවතිව් දූපත අසල මුහුදු සීමාවේ සිදුකල තවත් විශේෂ ‍මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04)සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් සිව් දෙනා සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව පිළිබඳ ඉදිරි පරික්‍ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරමින් පවතින අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමටද කටයුතු සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ විදෙස් ධීවරයින් විසින් සිදු කරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපවත්වා දේශීය මත්ස්‍ය සම්පත මෙන්ම දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ද ආරක්‍ෂා කිරීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.