“බු‍රෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ජනතාව වෙත නාවික හමුදාව සහන සලසයි

2020 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාව සහය වෙයි.

“බුරෙවි” සුළි කුනාටුවත් සමඟ ඇතිවු අධික වැසි හේතුවෙන් පුංගුඩුතිව් දූප‍තේ ඇතිවු ජල ගැලීම් හේතුවෙන් ආපදාවට පත් පවුල් පනහක් (50) ආරක්ෂිත ස්ථාන හතරක් (04) වෙත රැගෙන යාමට උතුරු නාවික විධාන ආපදා කළමණාකරන කණ්ඩායම් 2020 දෙසැම්බර් 03 දින කටයුතු කරන ලද අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය වියළි හා පිසූ ආහාර, සනීපාරක්ෂක සහ වෛද්‍ය පහසුකම් සලසා දීමටද මෙහිදී කටයුතු කෙරිණි.

එමෙන්ම මෙම සුළි කුණාටුව හේතුවෙන් ඉරනතිවු දූපත තුළ සිරවී සිටි ධීවරයින් සහ ධීවර පවුල්වල පුද්ගලයින් අසුහය දෙනෙක් (86) සඳහා කිලිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සහ කිලිනොච්චි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය මඟින් ලබාදුන් සහනාධාර මුලන්කාවිල් සිට ඉරනතිව් දූපත වෙත රැගෙන යාමට සහ බෙදාහැරීමට උතුරුමැද නාවික විධානය අද දින (2020 දෙසැම්බර් 04) සහය විය. තවද, ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ සහන කණ්ඩායම් හතරක් (04), මන්නාරම වන්කාලේ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ සහ පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයෙහිද ආපදා සහන කණ්ඩායම් හතර (04) බැගින් සූදානම් කර ඇත.

තවද ඕනෑම හදිසි ආපදාවකදී ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.