නැගෙනහිර සහ වයඹ මුහුදේ නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 27 සහ 28 දෙදින නැගෙනහිර සහ වයඹ මුහුදේ සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය විසින් ඔක්තෝබර් 27 දින සල්පෙආරු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී පුපුරනද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව්දෙනෙක්(04), ඩිංගි යාත්‍රාවක්, විදුලි නොවන ඩෙටනේටර් හා සේෆ්ටි ෆියුස් යොදා සකස් කරන ලද අධි බල පුපුරනද්‍රව්‍ය චාර්ජස් දෙකක් (02) (High Explosive Charges), කිමිදුම් උපකරණ සහ තහනම් දැලක් අත්අඩංගුවට ගන්නා ලදී.

එමෙන්ම, වයඹ නාවික විධානය විසින් ඔක්තෝබර් 28 දින කල්ලාරු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලාගන්නා ලද මුහුදු බෙල්ලන් 300ක් (Sea Shank), ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සමගින් සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙම සැකකරුවන් වයස අවුරුදු 20 ත් 57ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලදී.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල, කිමිදුම් උපකරණ සහ පුපුරනද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත සහ මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී පන්න ක්‍රම සහ පුපුරනද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදීමෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව මෙවන් මෙහෙයුම් ඉදිරියටත් සිදුකරනු ලබයි.