නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 25 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 25 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය විසින් 2020 ඔක්තෝබර් 21 සහ 22 දෙදින කල්ලඩි සහ වාකරේ යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, එරක්කන්ඩි ප්‍රදේශයේ සහ කොඩ්බේ ධීවර වරායේ සිදුකල මෙහෙයුම් මගින් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු සහ මෝර වරල් ළඟ තබා ගත් පුද්ගලයින් 19 ක්, බහුදින ධීවර යාත්‍රාවක් ඇතුළු ධීවර යාත්‍රා 06ක්, තහනම් දැල් 05ක් ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතුරු නාවික විධානය විසින් 2020 ඔක්තෝබර් 23 දින එළුවතිව් දූපතේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුළ හක් බෙල්ලන් කවච 2693ක තොගයක් නීති විරෝධි ලෙස තබාගෙන සිටි පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලද අතර, එදිනම උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 70 ග්‍රෑම් 600ක් නීති විරෝධි ලෙස ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් (01) සහ එම ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගන්නා ලදි.

එමෙන්ම, වයඹ නාවික විධානය විසින් 2020 ඔක්තෝබර් 21 දින කල්පිටිය කිරිමුන්දලම ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර එහි තිබී වියලි මෝර වරල් සහිත ගෝනි මලු 28ක්, සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ලොරි රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, දකුණු නාවික විධානය සහ කලමැටිය ධීවර පරීක්ෂක කාර්යාලය එක්ව 2020 ඔක්තෝබර් 22 දින කලමැටිය ධීවර වරායේ සිදුකල මෙහෙයුමකදී තහනම් දැලක් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙක් (02) තහනම් දැලක් සහ ධීවර යාත්‍රාවක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 53 ත් අතර වයසේ පසුවන කින්නියා, කදිරවේලි, වාකරේ, ලංකාපටුන, එළුවතිව්, ඉරුක්කුලම්පිඩ්ඩි, කල්පිටිය, සින්නපාඩු සහ හුංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මෙම පුද්ගලයින්, ධීවර යාත්‍රා, තහනම් දැල්, ධීවර ආම්පන්න, ලොරි රථය සහ ත්‍රී රෝද රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මඩකළපුව සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙතත් මූතූර්, කයිට්ස්, පුත්තලම සහ තංගල්ල ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.