නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය විසින් බෝල්ඩර් තුඩුව, ෆවුල් තුඩුව, ගෝපාල්පුරම්, නයාරු යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කොටුවමඩ කළපු ප්‍රදේශයේ සිදුකල මෙහෙයුම් මගින් තහනම් දැල් භාවිතා කරමින්, නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් සහ විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක්, ධීවර යාත්‍රා 07ක්, තහනම් දැල් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

වයඹ නාවික විධානය විසින් උච්චමුනායි දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක්, ධීවර යාත්‍රා 02 ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම,උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලීසිය එක්ව මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් කවච එක්රැස් කරනු ලබන ස්ථානයක තිබී විශ්කම්භය මිලිමීටර් 70ට අඩු හක්බෙල්ලන් කවච 60 ක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගත් අතර, එම ප්‍රදේශයේදීම නිවසක් තුළ හක් බෙල්ලන් කවච 1814 ක තොගයක් නීති විරෝධි ලෙස තබාගෙන සිටි තවත් පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 55 ත් අතර වයසේ පසුවන පොඩුවකට්ටු, කුච්චවේලි, සැන්ඩිබේ, නිලාවේලි, ඉක්බාර් නගර්, කෝකිලායි, කන්දක්කුලිය කල්පිටිය සහ ඉරුක්කුලම්පිඩ්ඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මෙම පුද්ගලයින්, ධීවර යාත්‍රා, තහනම් දැල් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙතත් මුලතිව්, කුච්චවේලි සහ කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත් සහ මන්නාරම පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.