නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට

2020 සැප්තැම්බර් 30 වන දින සිට ඔක්තෝබර් 14 වන දින දක්වා වූ සති දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් උතුරු මැද, නැගෙනහිර, උතුර සහ බටහිර නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී, උතුරුමැද නාවික විධානය විසින් තෙවම්පිඩ්ඩි සහ අච්චානකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුම් දෙකකදී තහනම් දැල් භාවිතාකර ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 07ක්, ධීවර යාත්‍රා දෙකක් (02) සහ තහනම් ධීවර දැල් දෙකක් (02) ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගත් අතර, තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 18 කට අධික ප්‍රමාණයක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටි තවත් පුද්ගලයෙක් (01) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය විසින් සල්පෙආරු හා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකළපුව කොටුවමඩ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් මගින් තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 12 ක්, ඩිංගි යාත්‍රා 03 ක් සහ තහනම් දැල් දහයක් (10) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතුරු නාවික විධානය විසින් ගුරුනගර් ජැටියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් ‍දෙනෙක් (04), ඩිංගි යාත්‍රාවක්, ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් සියයක් (100) සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, කරෙයිනගර් සෙයිනෝර් ජැටිය අසළ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02), ඔරුවක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, බටහිර නාවික විධානය විසින් දියවන්නා ඔයේ තහනම් දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ‍(02), ඔරුවක්, අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 12 ක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19ත් 57ත් අතර වයසේ පසුවන සිලාවතුර , මුලන්කාවිල්, මන්නාරම, එරක්කන්ඩි, නිලාවේලි, කින්නියා, ගුරුනගර්, කයිට්ස් සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, ධීවර යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙතත් කුච්චවේලි, ගුරුනගර් සහ කයිට්ස් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත් සහ බත්තරමුල්ල ජාතික ජලජීවී වගා සංවර්ධණ අධිකාරි කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කරන ලදි.