උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 11 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 111 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ජාත්‍යන්තර මුහුදු සීමාව දෙසින් ගොඩබිම දෙසට සැක කටයුතු ලෙස යාත්‍රා කළ ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කරන ලදි. එම සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂා කිරීමට උත්සහ කිරීමේදී එහි තිබූ උර කිහිපයක් මුහුදට දමමින් පලා යන ලද අතර, එම ඩිංගි යාත්‍රාව පසුපස හඹා ගොස් සිදු කළ පරික්‍ෂාවේදී එය මාදගල්තුරෙයි වෙරළේ අතහැර දමා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. අනතුරුව, එම මුහුදු ප්‍රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීමේදී මුහුදේ පාවෙමින් තිබූ උර 05ක් තුළ කුඩා පාර්සල් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 111 ග්‍රෑම් 550 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ‍මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද කේරළ ගංජා ගොඩබිමට ගෙනයාමට නොහැකිව මෙලෙස මුහුදට දමා ඩිංගි යාත්‍රාව අතහැර සැකකරුවන් පලා ගොස් ඇති බවට සැක කෙරෙන අතර, එම සැකකරුවන් සොයා නාවික හමුදාව සහ ඉලවාලෙයි පොලීසිය එක්ව මේවන විටත් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.

මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගන්නා ලද සියලු විෂයන් පවත්නා කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ඉලවාලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.