නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43ක් නාවික හමුදා භාරයට

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් පසුගිය සතිය තුළ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43 ක්, ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙහිදී නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, පුල්මුඩේ සහ නෝර්වේ දූපතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේත්, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේ සහ මඩකළපුව කළපුවේ කොටුවමඩ ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් සහ විදුලි ආලෝකධාරා යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටි පුද්ගලයින් 32ක්, ඩිංගි යාත්‍රා 06 ක්, මසුන් කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, උතුරු නාවික විධානය මගින් චුන්ඩිකුලම් ප්‍රදේශයට උතුරු දෙසින් මුහුදේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයින් 06ක්, ඩිංගි යාත්‍රා 02ක්, ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 54ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනිණි.

තවද, උතුරු මැද නාවික විධානය මගින් වංකාලේපාඩු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 11ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වූ අතර, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකල තවත් සෝදිසි මෙහෙයුම් දෙකකදී (02) නිවසක් තුල සඟවා තිබූ වට ප්‍රමාණය මිලි මීටර 70ට වඩා අඩු හක් බෙල්ලන් 247ක් සහ නීති විරෝධීව අල්ලන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 625කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) සහ තවත් නිවසක් තුල සඟවා තිබූ මීටර 100ක දිගින් යුත් නීති විරෝධී දැල් 04 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් තිරියාය, තෝපූර්, කින්නියා, මූතූර්, ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි, නිලාවේලි, මන්නාරම, වංකාලේ, පේසාලේ සහ තලවිල යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 18ත් 46ත් අතර වයසේ පසුවන්නන් බවට හදුනාගත් අතර, අදාල පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මන්නාරම හා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරුන් වෙත සහ පුල්මුඩේ, ත්‍රිකුණාමලය, මන්නාරම සහ පේදුරුතුඩුව ධීවර පරීක්‍ෂකවරුන් වෙත භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.