නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 28 වන දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක සහිත නිවසක් පරීක්‍ෂාකර එම නිවසේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ උර 31ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 952ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත්විය. තවද, මෙම කහ තොගය නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැක පල කෙරේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 52 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ අත් අඩංගුවට ගන්නා ලද වියලි කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.