නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය දින කිහිපය තුල බටහිර, නැගෙනහිර සහ වයඹ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති සමඟ සැකකාරියක් සහ සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නැගෙනහිර නාවික විධානය මගින් කුච්චවේලි පොලීසිය හා එක්ව කුච්චවේලි ප්‍රදේශයේ සිදු කල ‍සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකාරියක් අත් අඩංගුවට ගත් අතර, වයඹ නාවික විධානය මගින් පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය හා එක්ව පුත්තලම ප්‍රදේශයේදී මන්නාරම මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් පරීක්‍ෂාවට ලක්කර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. පසුව එම හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ ත්‍රීරෝද රථය අත් අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, පුත්තලම පොලීසිය හා එක්ව නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 45ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමටද වයඹ නාවික විධානය විසින් කටයුතු කරන ලදි.

එසේම, බටහිර නාවික විධානය මගින් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් හා එක්ව කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 02ක් සහ වෛද්‍ය නියමයක් නොමැතිව ප්‍රිගැබලින් පෙති (Pregabalin Capsules 75mg) 1000ක පමණ ප්‍රමාණයක් යතුරු පැදියකිත් රැගෙනයමින් සිටි තවත් සැකකරුවකු එම මත්ද්‍රව්‍ය සහ යතුරු පැදිය සමඟ අත් අඩංගුවට ගැනීමට පසුගිය දින කටයුතු කල අතර, නොරෝච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී මාවා කිලෝග්‍රෑම් 12ක් සමඟ තවත් සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට වයඹ නාවික විධානය මගින් කටයුතු කරන ලදි

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය සහ සැකකරුවන් වයස අවුරුදු 21ත් 41ත් අතර වයසේ පසුවන පොඩුවකට්ටු, පුත්තලම, දංකොටුව සහ නොරෝච්චෝ‍ලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකාරිය සහ සැකකරුවන් මත්ද්‍රව්‍ය, ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි, පුත්තලම, කොච්චිකඩේ සහ නොරොච්චෝලය පොලිස් ස්ථාන වෙත සහ පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය වෙත භාරදීමට කටයුතු කරන ලදි.