හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අගෝස්තු මස 28 සහ 29 කඩවත සහ උඩවලව ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් විසින් 2020 අගෝස්තු 28 වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා එක්ව කඩවත ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 02ක පමණ ප්‍රමාණයක් අලෙවි කිරීම සඳහා ලඟ තබාගෙන සිටි යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු කිරිල්ලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. පසුව අදාල පුද්ගලයාගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 6ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් පුද්ගලයෙකු කඩවත ඉහළකරගහමුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙහිදී අදාල පුද්ගලයා සතුව තිබී විද්‍යුත් තරාදියක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද දකුණු නාවික විධානය මගින් උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා එක්ව උඩවලව ජලාශයේ බැම්ම මතදී හෙරොයින් මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා සබඳතා පවත්වා ඇති බවටද මෙහිදී අණාවරණය කර ගැනීමට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 30 සහ 41 යන වයස් වල පසුවන කඩවත සහ ඇතිලිවැව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, අදාල සැකකරුවන්, ඔවුන් සතුව තිබූ හෙරොයින්, යතුරුපැදිය සහ විද්‍යුත් තරාදිය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කඩවත පොලීසිය සහ උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.