නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1428 ක තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 1428කට ආසන්න ප්‍රමාණයක් 2020 අගෝස්තු 29 වන දින නොරොච්චෝලේ ප්‍රදේශයේදී සහ කල්පිටිය වෙල්ල දූපතේදී සොයා ගැනීමට සමත් විය.

නාවික හමුදාව සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ගෝනි මළු 26ක අසුරා තිබූ වියලි කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නොරෝච්චෝලය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට හැකිවූ අතර, එහිදී අදාල සැකකරුවන් සමඟ මෝටර් රථයක් සහ ලොරි රථයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි. පසුව අදාල සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලින් පසු කල්පිටිය තොරෙයිඅඩි ජැටියේදී එම වියලි කහ තොගය ප්‍රවාහනය කල බවට සැක සහිත ඩිංගි යාත්‍රාවක් සමඟ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

සැකකරුවන්ගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කල්පිටිය වෙල්ල දූපතේ සුක්‍ෂම ලෙස සඟවා තිබූ වියලි කහ සහිත ගෝනි මළු 18ක ප්‍රමාණයක් සහ කලපිටිය ඉප්පන්තිවු දූපතේ සඟවා තිබූ ගෝනි මළු 12ක් තුල බහාලන ලද තවත් වියලි කහ කිලෝ 294ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදි වියලි කහ කිලෝග්‍රෑම් 1428ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් 06 ක්, ඩිංගි යාත්‍රාවක්, මෝටර් රථයක් සහ ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ කොටියාකුඹුර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර අදාල සැකකරුවන්, වියලි කහ තොගය සහ නාවික හමුදා භාරයට ගත් අනෙකුත් භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව පසුගිය අගෝස්තු 21 වන දින සිට මන්නාරම සවුත්බාර්, තාල්පාඩු, නාඩුකුඩා, අරිප්පු, තලෙයිමන්නාරම, පුත්තලම එත්තාලෙයි, නොරොච්චෝලේ සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් පමණක් වියලි කහ කිලෝග්‍රෑම් 3861 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, 2020 ජූලි 28 වන දින සිට මේ දක්වා සිදු කල සමස්ථ නාවික හමුදා මෙහෙයුම් මගින් ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 12,270ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 25ක් නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය.

තවද, නාවික හමුදාව විසින් කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදු කල අතර, නාවික හමුදා භාරයට ගත් සියළු විෂයන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද මෙහිදී කටයුතු කෙරිණි.