නාවික හමුදා සහායෙන් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් විසින් රාජගිරිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා එක්ව කොළොන්නාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් සහ ජංගම දුරකථනයක් සමඟ සැකකරුවකුද, වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් විසින් පුත්තලම පොලිසිය හා එක්ව පුත්තලම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 650ක පමණ ප්‍රමාණයක්, යතුරු පැදියක් සහ විද්‍යුත් තරාදියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) ද, සිලාවතුර පොලිසිය හා එක්ව සිලාවතුර වේප්පන්කුලම් ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකුද, අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හා එක්ව 2020 අගෝස්තු මස 23 වන දින උයිලන්කුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 580ක ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකුද, නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් විසින් සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව නිලාවේලි නවච්චෝලේ ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකුද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වැල්ලම්පිටිය, පුත්තලම, සිලාවතුර, උයිලන්කුලම් සහ කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 18ත් 61ත් අතර වයසේ පසුවන්නන් බවට හඳුනාගෙන ඇති අතර, අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු වැල්ලම්පිටිය, පුත්තලම, සිලාවතුර, මන්නාරම සහ කුච්චවේලි යන පොලිස් ස්ථාන මගින් සිදු කරනු ලබයි.