නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරු, නැගෙනහිර, බටහිර හා උතුරු මැද යන නාවික විධානයන් තුල සිදුකල මෙහෙයුම් මගින් ත්‍රිකුණාමලය එළිසබත් සහ නෝර්වේ දූපත් ආසන්න මුහුදු තීරයේ, බෝල්ඩර් තුඩුවට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ, මන්දගල්ආරු ප්‍රදේශයේ, තලෛයිමන්නාරම ජැටිය ආසන්න මුහුදු ප්‍රදේශයේ, මණ්ඩතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ, ඉලුප්පකඩවායි ප්‍රදේශයේ සහ ඉන්පාර්සිඩ්ඩි ධීවර වරායේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී තහනම් දැල් භාවිතය, නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදු කිරීම, බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදීම යන හේතූන් මත පුද්ගලයින් 34 දෙනෙකු ධීවර යාත්‍රා 11ක්, ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 165ක පමණ ප්‍රමාණයක්, මුහුදු කූඩැල්ලන් 370ක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, යාපනය නගරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදීද විකිණීම සඳහා සූදානම් කර තිබූ තහනම් දැල් කිලෝග්‍රෑම් 121ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකුද නාවික හමුදා භාරයට ගැණිනි. තවද, කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී අවට ප්‍රදේශයේ ඡායාරූප ගනිමින් ජීවිතාරක්‍ෂක උපකරණ රහිතව යාත්‍රාවන් දෙකක (02) ගමන් කරමින් සිටි විදේශිකයෙකුද ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ ධීවර උපකරණ ඇතුළු භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂවරුන්, යාපනය ධීවර අධ්‍යක්‍ෂක සහ කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙතත් ජයපුරම් පොලීසිය සහ කොළඹ වරාය පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කරන ලදි.