නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 27 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, 2020 ජුලි 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධානය තුල ක්‍රියාත්මක කර සෝදිසි මෙහෙයුම් මගින් නීතී විරෝධී ධීවර කටයුතු වල නිතරත වූ පුද්ගයින් 27 සමඟ මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී තහනම් දැල් ඇතුළු ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ඒ අනුව, 2020 ජුලි 18 වන දින ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී (02) ධීවර යාත්‍රාවන් තුනක (03) නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු ආදල ධීවර දැල් සහ ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝ 265ක ප්‍රමාණයක් සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි. එලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 60 අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර අදාල තහනම් දැල්, ධීවර යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රීලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නැගෙනහිර ප්‍රාදේශීය අධ්‍යක්‍ෂක හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

2020 ජුලි මස 20 වන දින ත්‍රිකුණාමලය, කොරල් තුඩුවට ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල තවත් මුර සංචාරයකදී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් සහ අදාල ධීවර යාත්‍රාවන් තුල තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. අදාල පුද්ගලයින් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර අදාල පුද්ගලයින් සහ නාවික හමුදා භාරයට ගන්නා ලද ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රීලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නැගෙනහිර ප්‍රාදේශීය අධ්‍යක්‍ෂක හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

2020 ජුලි මස 22 වන දින මඩකලපුව කළපුවේ සිදු කරන ලද මුර සංචාරයකදීද මඩකලපුව කළපුවේ කොටුවෙමඩ ප්‍රදේශයේ එළා තිබූ මීටර 100ක පමණ දිගින් යුත් තහනම් දැල් 06ක් නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් සොයා ගන්නා ලද අතර, අදාල නීති විරෝධී දැල් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට නියමිතව ඇත.

තවද 2020 ජූලි 23 වන දින ත්‍රිකුණාමලය, කල්ලඩිචේනේ මුහුදු ප්‍රදේශයේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදීද තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි වයස අවුරුදු 19ත් 46 ත් අතර වයසේ පසුවන කන්තලේ සහ තෝපූර් ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. එහිදී අදාල සැකකරුවන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.