නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අන්තරායකාර ඖෂධ සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 18 සහ 19 යන දිනයන්හි ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද මෙහෙයුම් දෙකකදී වේදනා නාශක ඖෂධ සමඟ පුද්ගලයෙක් (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර, පාසැල් දරුවන් සහ මහජනතාවට සිදු වන හානිය වැලැක්වීමේ ජාතික කර්තව්‍යට දායක වෙමින් නීති විරෝධී මත් ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය වරාය පොලිසිය හා එක්ව 2020 ජුලි 18 වන දින ත්‍රිකුණාමලය, ගනේෂ්ලේන් මාර්ගයේදී සිදු කළ එක් මෙහයුමකදී අන්තරායකාර ඖෂධ වර්ගයක් වන ප්‍රීගැසිම් (Pregazim) වේදනා නාශක කරල් 100 ක් (කාඩ් 10) වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගෙන යතුරුපැදියක් මගින් බෙදාහැරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු (01) යතුරුපැදිය ද සමග අත්අඩංගුවට ගන්නා ලදි.

තවද, චීනවරාය පොලිසිය සමඟ එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ‍ප්‍රදේශය ‍කේන්ද්‍රකර ගනිමින් 2020 ජුලි 19 වන දින සිදුකල තවත් විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 01 ක පමණ ප්‍රමාණයක් සමග සැකකාරියක් (01) අත්අඩංගුවට ගත් අතර, එම හෙරෝයින් ප්‍රමාණය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවට වැඩිදුරටත් අනාවරණය කර ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 සහ 45 යන වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, වේදනා නාශක ඖෂධ සහ හෙරොයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රිකුණාමලය, වරාය පොලිසිය සහ ත්‍රිකුණාමලය චීන වරාය පොලිසිය මගින් සිදු කරනු ලබයි.