ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලා‍වේ තවත් එක් වැඩසටහනක් 2021 ‍දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අභියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදීත්, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදීත්, හින්දු ආගමික වැඩසටහන කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදීත්, මුස්ලිම් ආගමික වැඩසටහන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදීත් සහ නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම වැලිසර නාවික සංකීර්ණයේදීත් පවත්වන ලදී. තවද, දළදා සමිදුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව සහ දානමය පුණ්‍යකර්මය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා සමිදුන් අභියස දී බැති සිතින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රථමයෙන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේදී මෙම විශේෂ පූජාව ආරම්භ කෙරිණි. එහිදී වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.