උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාගේ උතුරේ දූපත් සංචාරය සඳහා නාවික හමුදා සහය

උතුරු පළාත් නව අණ්ඩුකාරවරයා ලෙස පත් වීම් ලැබූ ගරු ජීවන් ත්‍යාගරාජා මැතිතුමා 2021 නොවැම්බර් මස 20 දින උතුරේ දූපත් සංචාරයක නිරත වු අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් පහසුකම් සැළසීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරේ දූපත්වාසීන්ගේ ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ලබා දිය යුතු පරිපාලන සහය සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමා විසින් සිදු කරන ලදී. මෙම සංචාරයේදී එළුවතිව්, අනලතිව්, පලෙයිතිව්, කකරෙයිතිව් සහ කච්චතිව් යන දූපත් වෙත මුහුදු මාර්ගයෙන් ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් උතුරු නාවික විධානය මඟින් ලබා දිමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලද අතර, මෙම සංචාරය සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද සහභාගී විය.

මෙම සංචාරයේදී ඩෙල්ෆ්ට් දූපත සහ කච්චතිවු දූපත් ආසන්නයේ විදේශ ධීවර යාත්‍රා විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් සහ නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එම අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා සිදු කරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශයේ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් ද උතුරු නාවික විධානයේ ආඥාපති විසින් ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

මෙම සංචාරයේදී ගරු ආණ්ඩුකාරතුමා විසින් පොදුවේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා දූපත් මඟින් ලබා ගත හැකි අවස්ථා සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලද අතර, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරුන්, රජයේ උසස් නිලධාරීන් මෙන්ම උතුරු නාවික විධානයේ නාවික හමුදා සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරය සඳහා සහභාගී වී සිටියහ.