සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කෙරේ

අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන ලද සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 18 වන ඉල් පුන් පොහෝ දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මාතෘභූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක්‍ෂිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර රණවිරුවන් දිවි හිමියෙන් සටන් වැද සිදුකළ ජීවිත පරිත්‍යාගයන්, කැපකිරීම් හා උදාර සේවය අගය කරනු පිණිස ශ්‍රි ලංකාවේ පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු 2010 නොවැම්බර් මස 22 වන දින ආරම්භ කෙරිණි. පසුව වත්මන් ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ‍චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වර්තමාන ඉදිකිරීම් කටයුතු වත්මන් ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ මෙහෙයවීමෙන් සිදුවිය.

ඒ අනුව, මෙලෙස ඉදිකිරීම් අවසන් කරන ලද සඳහිරු සෑය චෛත්‍ය රාජයාණන්ගේ කොත්වහන්සේ සහ චූඩාමාණික්‍ය නිරාවරණය කිරීම 2021 නොවැම්බර් 18 වන දින පස්වරුවේ ගරුතර මහා සංඝරත්නයේ ජය පිරිත්සඡ්ඡායනා සහ හේවිසි හඬ මධ්‍යයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. තවද, ධාතු කරඬුවේ ආභරණ පැළඳවීම, දොලොස්මහේ පහන විවෘත කිරීම, සඳහිරු සෑ රදුන් බුදු සසුන වෙත පූජා කිරීම සහ සෑ රදුන්ට විදුලි ආලෝක පූජාව අතිගරු ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු මෙම සඳහිරු සෑය සඳහා අවශ්‍ය ගඩොල් නිශ්පාදනයේ සිට වෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙන්ම, සඳහිරු සෑ පරිශ්‍රයේ ආවාසකුටි ඉදිකිරීම, ප්‍රධාන පිවිසුම් දොරටු, රථවාහන අංගන සහ පිවිසුම් මාවත් ආවරණය වන පරිදි විදුලි අලෝක පද්ධතිය ස්ථාපනය කිරීමේ කටයුතු සහ භූමි අලංකරණ කටයුතු ආදිය උසස් නිමාවකින් යුතුව සිදු කිරීම වෙනුවෙන් නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.

තවද, සඳහිරු සෑ රදුන් ඉදිකිරීම සඳහා සිදුකළ මෙහෙය අගයමින් ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් වෙත තිළිණ සහ සහතිකපත් පිරිනැමීම මෙහිදී අතිගරු ජනාධිපතිතුමා වෙතින් සිදු කෙරිණි.

මෙම පුණ්‍යමහෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහා නායක, අනු නායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, ගරු කථානායකතුමා, ‍‍‍කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති, ගුවන් හමුදාපති, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් පිරිසක් සැදැහැති සිතින් සහභාගී වී සිටියහ.