අභිනව ජාතික ආරක්ෂක විද්‍යාතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ‍

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කළ ජාතික ආරක්‍ෂක විද්‍යාතනය (National Defence College – NDC) විවෘත කිරීම අද (2021 නොවැම්බර් මස 11) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ඒ අනුව, ජාතික ආරක්‍ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ප්‍රමුඛ විද්‍යාතනයක් මෙරට ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය සපුරාලමින් විවෘත කෙරුණු ජාතික ආරක්‍ෂක විද්‍යාතනය මඟින්, මෙරට ජාතික ආරක්‍ෂාව සහ ජාතික සංවර්ධනය සහතික කිරීම සඳහා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය සේවයේ උපායමාර්ගික තීරණ ගනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පරිපූර්ණ දැනුමක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

දෙස් විදෙස් උසස් පිළිගැනීමක් ඇති ප්‍රවීණ විද්වතුන්ගේ දායකත්වයෙන් සකස් කරන ලද විෂය නිර්දේශයන්ට අනුව මෙම විද්‍යාතනය පවත්වනු ලබන ජාතික ආරක්‍ෂක විද්‍යාතන පාඨමාලාව අවසානයේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය අනුබද්ධව පශ්චාත් උපාධි පිරිනැමීම සිදු කරනු ලබයි.

තවද, අද දින (2021 නොවැම්බර් මස 11) ජාතික ආරක්‍ෂක විද්‍යාතනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්‍ය පිබී ජයසුන්දර මහතා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, විදෙස් තානාපතිවරුන් හා ආරක්‍ෂක උපදේශකයන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාතනය ආඥාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර, ශ්‍රී ලංකා පොලිස්පති සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගිවී සිටියහ.

ඡායාරූප අනුග්‍රහය ශ්‍රී ලංකා යුධ හමුදා මාධ්‍ය ඒකකය