ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහන සාර්ථකව අවසන් වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලද ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි සහතික පත් ප්‍රදානය වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්, ඒඩබ්ලිව් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්,කොමදෝරු නිශාන්ත පීරිස් ගේ සහභාගීත්වයෙන් 2021 අගෝස්තු 25 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

රාජ්‍ය නෞකා සමික්‍ෂක, කපිතාන් උපුල් පීරිස් මහතාගේ දායකත්වයෙන් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාවේ විධිවිධාන සහ අදාළ කරුණු ආවරණය වන පරිදි,පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දින තුනක් පුරා මෙම දැනුවත්කිරීමේ වැඩසටහන නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ඒ අනුව, දිවයිනේ සියළුම ප්‍රධාන වරායන් ආවරණය වන පරිදි මේ සඳහා සහභාගී වූ නිලධාරීන් සිව්දෙනෙක් (04) සහ නාවිකයින් හයදෙනෙක් (06) වෙත මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 2021 අගෝස්තු 25 දින මෙලෙස සහතික පත් ප්‍රදානය සිදු කෙරිණි.