අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තෙමහල් නිවසක් ලබා දෙයි

ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපති සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් අජිත් කාංගර ආරච්චි මහතා විසින් ඔහුට අයත් සියළු පහසුකම් සහිත තෙමහල් නිවසක් නාවික හමුදා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2021 අගෝස්තු 23 වන දින අග්ගොන තලංගම ප්‍රදේශයේදී සිදු කෙරිණි.

අජිත් කාංගර ආරච්චි මහතා නාවික හමුදාවේ 07 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු ලෙස 1978 වර්ෂයේ නාවික හමුදාවට බැඳී ලුතිනන් කොමාණ්ඩර් නිලයේ රාජකාරි කරමින් සිටියදී නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනය ආරම්භ කර වර්තමානයේ ආරක්‍ෂක සේවා, නාවික සැපයුම් සේවා, වෙළඳ ප්‍රචාරණ සේවා ඇතුළු ව්‍යාපාර ගණනාවක් හිමි කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ලෙස එම ආයතනයේ සභාපති ‍වශයෙන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්නා වසංගත තත්වය හමුවේ කොවිඩ් 19 ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට දායක වෙමින් දිවයිනේ ප්‍රදේශ රැසක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම, රෝහල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම රෝහල් තුල විශේෂ ප්‍රතිකාර ඒකක ස්ථාපනය කරමින් සුවිශේෂී කාර්යභාරයක් සිදුකරනු ලබයි. එමෙන්ම පවත්නා වසංගත තත්වය හමුවේ වුවද මෙරට මුහුදු කළාපය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සියළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදු කරනු ලබන මෙහෙවර අගයමින් කොවිඩ් 19 අවධානම හමුවේ අත්‍යාවශ්‍ය රාජකාරීන් සිදු කරනු ලබන නාවික පුද්ගලයන් වෙත අවශ්‍ය ප්‍රථිකාර ලබා දීමේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා මෙම තෙමහල් නිවස අජිත් කාංගර ආරච්චි මහතා විසින් මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම 2021 අගෝස්තු 23 දින සිදු කරන ලදී. ‍තවද, මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මඟින් නාවික පුද්ගලයන් රැසකට එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සැළසෙනු ඇත.

හිටපු නාවික හමුදා නිලධාරියෙකු ලෙස නාවික පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් අංගසම්පූර්ණ තෙමහල් නිවසක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා නාවික හමුදාව වෙත ලබා දී අජිත් කාංගර ආරච්චි මහතා නාවික හමුදාව වෙත දැක්වූ සුවිශේෂී සහයෝගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් මෙහිදී ඇගයීමට ලක්කර එතුමා වෙත සිය ප්‍රශංසාව පලකිරීමටද කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති හා ශ්‍රි ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සීමිත පිරිසක් සහභාගි වි සිටියහ.