නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුලි 27) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නියෝජනය කරමින්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් ඔහු වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1986 වර්ෂයේදී 14 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රුවන් පෙරේරා තම සේවා කාලය තුළ නාවික සුව සහන අරමුදලේ කළමණාකරු හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, නාවික පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ ගුවන් ආරක්‍ෂක සම්බන්දීකාරක, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුහුණු හා අධ්‍යක්‍ෂ නාවික අවි, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, අධ්‍යක්‍ෂක රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි ප්‍රසම්පාදන ඒකකය (CEFAP), අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, ගිනිකොන, වයඹ සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.