නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ "වඩතාරකි" යළි ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර සේවයට එක්වේ

යාපනය, පුන්ගුඩුතිව් දූපතේ කුරිකඩ්ඩුවාන් ජැටිය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා තිබූ "වඩතාරකී" යාත්‍රාව අක්‍රීයවීමෙන් දූපත් අතර ප්‍රවාහන කටයුතු ඉතා දුෂ්කර තත්වයකට පත්ව තිබූ අතර, නාවික හමුදාව විසින් "වඩතාරකී" යාත්‍රාව අලුත්වැඩියා කර ක්‍රියාකාරී තත්වයට පත් කිරීමෙන් පසු 2021 ජූලී මස 15 දින සිට යළි දූපත් අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන සේවයට එක්විය.

නාවික හමුදා සාමාජිකයන් දසදෙනෙකුගෙන් (10) සමන්විත කාර්යමන්ඩලයක් මගින් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වඩතාරකී යාත්‍රාවෙහි නියමිත අලුත්වැඩියාවන් සිදුකිරීමට නොහැකිව එය අක්‍රීය වී ඇතිබැවින්, එම යාත්‍රාව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා එහි අලුත්වැඩියා කටයුතු සිදුකර දෙන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් සිදුකරන ලදී. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන වඩතාරකි යාත්‍රාවේ සේවාව අකණ්ඩව පවත්වාගැනීම සඳහා සහයවූ නාවික හමුදාව, එම යාත්‍රාව කන්කසන්තුරය වරායේ සිට ත්‍රිකුණාමලය දක්වා ඇදගෙන යාමෙන් පසු නාවික තටාකාංගනයේදි අලුත්වැඩියා කටයුතු 2021 මාර්තු මස ආරම්භ කෙරිණි.

පවත්නා වසංගත තත්වය හමුවේ වුවද වඩතාරකී යාත්‍රාවේ නියමිත සියලු අලුත්වැඩියා කටයුතු කෙටි කාලයකින් අවසන් කර යාත්‍රාව යළි ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරනලදී. මෙලෙස කෙටි කාලයකින් නාවික හමුදාව විසින් යාත්‍රාව ක්‍රියාකාරී තත්වයට පත් කර 2021 ජූලි මස 15 දින සිට යළි දූපත් අතර සේවයට එක්කර මහජන සුභසාධනය උදෙසා සිදුකළ දායකත්වය, යාපනය සහ ඩෙල්ෆ්ට් ප්‍රදේශවාසි පොදු මහජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද සුවිශේෂි ඇගයීමට ලක්විය.