බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපානන්ගේ මූලිකත්වයෙන් 2021 මැයි මස 19 වන දින සිදු කෙරිණි.

කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්‍ෂාව සහ ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ශරීර උෂ්ණත්ව මාපක (Digital Thermo Meter), රුධිර පීඩන මාපක (Pulse Oxi Meter/ Automatic BP Monitor), ස්වසන ආධාරක (Nebulizer Machine), ඊසීජී යන්ත්‍ර (ECG Machine) සහ ඇඳ ඇතිරිලිවලින් සමන්විත මෙම පරිත්‍යාගය ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපානන් සහ කතෝලික ධර්මදූත සංගම් පිළිබඳ ජාතික අධ්‍යක්ෂ රෝහාන් බැසිල් හිමිපානන් විසින් ගාල්ල රදගුරු නිල නිවසේදී දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත භාර දීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ දකුණු නාවික විධානයේ විධාන වෛද්‍ය නිලධාරි ද සහභාගී වී සිටියහ.