නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සිය වසර 35කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021මැයි 19) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදි.

1986 වර්ෂයේදී 14 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන තම සේවා කාලය තුල විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, අධ්‍යක්‍ෂ ක්‍රීඩා හා වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරී, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂක, උතුරු සහ නැගෙනහිර නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, ඇමරිකා එක්සත් ජනපදයේ වොශින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.