නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මැයි 12) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදි.

1987 වර්ෂයේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ 05 වන බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක, තම සේවා කාලය තුල විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල හා කළමණාකරු මානව සම්පත්, නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ), ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික දියත් විධානයේ ධජ නිලධාරී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.