කොවිඩ් 19 අවධානම හමුවේ සෞඛ්‍ය අංශයේ පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා සහය

පවතින කොවිඩ් 19 අවධානම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවලට සහය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් බස්නාහිර සහ දකුණු පළාතේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, බස්නාහිර පළාත තුල ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම 2021 මැයි මස 02 වන දින ආරම්භ කෙරුණු අතර, එහි ඉඩ පහසුකම් අනුව ඇඳන් 2000ක ප්‍රමාණයක් දක්වා පහසුකම් ලබාදිය හැකි වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබයි.

තවද, කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා සෞඛ්‍යාරක්‍ෂිතව ප්‍රතිකාර ලබා දීමට සුදුසු පරිදි ගම්පහ මහ රෝහලේ වාට්ටු සංකීර්ණ 03 ක් මේ වන විටත් නාවික හමුදාව විසින් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සිටින අතර, මෙම සංවර්ධනයන්ගෙන් පසු එම වාට්ටු සංකීර්ණය ඇඳන් 50කින් සමන්විත කොවිඩ් 19 ප්‍රථිකාර ඒකකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ගම්පහ, මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු සංකිර්ණ දෙකක් ද (02) කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා සෞඛ්‍යාරක්‍ෂිතව ප්‍රතිකාර ලබා දීමට සුදුසු පරිදි මේ වන විටත් නාවික හමුදාව විසින් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සිටීන අතර, මෙම සංවර්ධනයන්ගෙන් පසු එම වාට්ටු සංකිර්ණය ඇඳන් 35කින් සමන්විත කොවිඩ් 19 ප්‍රථිකාර ඒකකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත.

ගම්පහ වතුපිටිවල මූලික රෝහල තුල කොවිඩ් 19 ප්‍රථිකාර සඳහා ඇඳන් 20 කින් සමන්විත වාට්ටුවක් ස්ථාපනය කිරීම, පීසීආර් පරීක්‍ෂණ සිදුකීරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් හැකි වන පරිදි තාවකාලික ගොඩනැගිලි තුනක් ද (03) නාවික හමුදාව විසින් මේ වන විට කඩිනමින් ඉදිකරමින් පවතී.

තවද, දකුණු පළාත තුල ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර පරිශ්‍රයේ ඇඳන් 200 කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කෙරුණු අතර, බලපිටිය මූලික රෝහලේ වාට්ටු සංකීර්ණයක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා සෞඛ්‍යාරක්‍ෂිතව ප්‍රතිකාර ලබා දීමට සුදුසු පරිදි සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

තවද, ඉදිරියේදී ද මෙම කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන යන වැඩපිලිවෙළට විවිධ අයුරින් දායක වෙමින් සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු උපරිම සහයෝගය ලබාදීමට නාවික හමුදාව සූදානමින් සිටියි.


ගම්පහ, වැරැල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය

ගම්පහ මහ රෝහල             


මිනුවන්ගොඩ මූලික රෝහල


ගම්පහ වතුපිටිවල මූලික රෝහල


ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර පරිශ්‍රයේ පිහිටි කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය