කොළඹ වරාය දොරටුවේ වැටී තිබූ මුදල් පසුම්බිය නැවත හිමිකරු වෙත භාරදුන් නාවිකයා නාවික හමුදාධිපති විසින් ඇගයේ

පසුගිය 2021 අප්‍රේල් මස 27 වන දින කොළඹ වරායට ඇතුළු වන අංක 03 පිවිසුම් දොරටුව ඉදිරිපිට මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් සහ එය තුල තිබූ මුදල් නැවත හිමිකරු වෙත භාරදුන් නායක නැවි ඒජීඑච්එස් උදය කුමාර, එක්ස්එස් 100126 දරණ නාවිකයා විසින් සිදු කළ එම සත් ක්‍රියාව අගයමින් ඔහු වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රධානය කිරීම අද (2021 මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නායක නැවි ඒජීඑච්එස් උදය කුමාර, එක්ස්එස් 100126 දරණ නාවිකයා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට අනුයුක්තව කොළඹ වරාය ආරක්‍ෂක සංචිතයේ රාජකාරි සිදු කරමින් සිටියදී 2021 අප්‍රේල් මස 27 වන දින කොළඹ වරායට ඇතුළු වන පිවිසුම් දොරටු අංක 03 ඉදිරිපිට මාර්ගයේ තිබියදී මෙම මුදල් පසුම්බිය සොයා ගෙන තිබූ අතර, පසුව නිසි බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මුදල් පසුම්බ්ය සහ එහි තිබූ මුදල් නැවත හිමිකරු වෙත භාරදීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව, නාවික පුද්ගලයෙකු වශයෙන් නාවික හමුදාවේ කීර්තිනාමය තව තවත් වර්ධනය වන අයුරින් සහ නිළ ඇදුමේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි තම රාජකාරිය සිදු කිරීම මෙන්ම අනෙකුත් නාවික පුද්ගලයන් සඳහාද ඉතා හොඳ ආදර්ශයක් සපයමින් මෙම නාවිකයා විදහා පෑ අවංකභාවය මෙලෙස නාවික හමුදාධිපති විසින් ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රධානය කරමින් ඇගයීමට ලක් කරන ලදි.