241 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 377 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 241 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 377 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 මාර්තු 27 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේදී සිය මූලික පුහුණුව අවසන් කල 241 වන ආධුනික බඳවා ගැනීමට අයත් නාවිකයන්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරිණි.

ඒ අනුව, 241 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි ආර්එන්එන්ඩබි ජයතිලක එම කුසලානය හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩීඑමිඑන්ඩබි දිසානායක හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි බීඑමිඑන්කේ බස්නායක හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එල්එමිඑන්එස් බංඩාර විසින් හිමි කර ගන්නා ලදී. එම ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘ධාතුසේන’ අංශය විසින් හිමි කර ගැනීමට සමත්වන ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය 241 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශනීය සරඹ සංදර්ශණයකින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ මෙන්ම සංස්කෘතික කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් විය.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කොමදෝරු එම්එස්කේ මහවත්ත ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන් ඇතුළු සීමිත පිරිසක් සහභාගීවී සිටියහ.