ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 21 වන දින වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා අවශ්‍ය පැල ‘තුරු සංසදය’ පාරිසරික සංවිධානය හා සම්බන්ධීකරණය වී සී/ස එල්බී ෆිනෑන්ස් සමාගමේ අනුග්‍රහයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදීමට කටයුතු කළ අතර, වැලිසර ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේ ලෝක වනාන්තර දිනය සංකේතවත් කරමින් මී පැල රෝපණය කිරීම සදහා නාවික හමුදාධිපති, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය, සේවා වනිතා ඒකකයේ නව උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණිය මෙන්ම බටහිර නාවික විධානයේ ආඥාපති ‍සහ සේවා වනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය ඇතුළු පිරිස විසින් සිදු කෙරිණි. තවද, මෙම වැඩසටහන සඳහා පැමිණ සිටි සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන් ඇතුලු සෙසු සේවා වනිතා සාමාජිකාවෝ ද මෙම පැල රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගීවී සිටියහ.