නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය පොන්නාලෙයි කලපුවේ කඩොලාන පැළ 700 ක් රෝපනය කෙරේ

නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම අද (2021 මාර්තු 14) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වෙරළ ඛාදනය වලක්වා, සාගර ජෛව විවිධත්වය රැකදීමට කඩොලාන පරිසර පද්ධතිය මහගු දායකත්වයක් ගෙනදෙයි. පරිසරය සුරැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වන නාවික හමුදාව උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, උත්තර සහ අග්බෝ යන ආයතන එක්ව යාපනය, පොන්නාලයි කළපු ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවින. කඩොලා‍‍න මඟින් වෙරළ පරිසර පද්ධතිය රැකදෙමින් මත්ස්‍ය අභිජනනය සඳහාද අවශ්‍ය ස්වාභාවික පරිසරයක් නිර්මාණය කරනු ලබන බැවින් පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද කඩොලාන පරිසරය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

කඩොලාන පරිසරය සුරැකීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාව යටතේ අද දින උතුරු නාවික විධානය මගින් ක්‍රියාවට නංවන ලද කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපනය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, උත්තර හා අග්බෝ ආයතනයන්හි අණදෙන නිලධාරීන් සහ උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.