නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිදු කළ ඉදිකිරීම් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 මාර්තු 10 වන දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය එළි දැක්වීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එහිදී නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු කළ ඉදිකිරීම් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරිණි.

එහිදී විශ්වවිද්‍යාලීය සරඹ පිටිය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද ප්‍රේක්‍ෂාගාරය, විද්‍යාගාර ගොඩනැගිල්ල, නව එන්ජින් සමාකෘතිය සහ විද්‍යාගාරය, ක්‍රීඩා සංකීර්ණය, කාර්ය මණ්ඩල නේවාසික ගොඩනැගිල්ල සහ නවීකරණය කළ ක්ලබ් හවුස් ගොඩනැගිල්ල ආරක්‍ෂක ලේකම් විසින් නාවික හමුදාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. මෙම අභිනවයෙන් ඉදිකළ දෙමහල් ක්‍රීඩාගාරය, ක්ලබ් හවුස් ගොඩනැගිල්ල නවීකරණය සහ සරඹ පිටියේ පිහිටි ප්‍රේක්‍ෂකාගාරයේ වහලයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරිණි.

තවද, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නාවික හමුදා මැරීන් සහ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද නව දෙමුහුන් එන්ජින් කාමර සමාකෘතිය නෞකාවක එන්ජින් කාමරයේ ඇති සියලුම උපාංග ප්‍රායෝගිකව සහ මෘදුකාංග මගින් හැසිරවීමේ හැකියාවෙන් සමන්විත බැවින් පුහුණු වන නිලධාරීන් හට නෞකාවක එන්ජින් කාමරයේ සිදුවන සියලු කටයුතු පිළිබඳ දැනුම මෙම සමාකෘතිය මඟින් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා අතිරේක ලේකම් (ආරක්‍ෂක) පීබීඑස්සී නෝනිස්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි, පීඨාධිපතිවරු, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මැරීන් හා යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානී කොමදෝරු ප්‍රියංකර දිසානායක, ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරී පිරිසක් ඇතුලු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ පුහුණුව වන නිලධාරී පිරිසක් සහභාගී වී සිටියහ.