ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 37 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල එක් නිලධාරීයෙක් සහ නාවිකයන් 36 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2021 මාර්තු 10 වන දින පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සාගර උදයංග ගේ ආරාධනයෙන් වයඹ නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් එස්බී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාස 06 ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලව තුලින් හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් වලදී විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මනා පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.

පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම මෙම අවස්ථාවේදී සිදු විය. ඒ අනුව හොඳම පුහුණුවන්නාට හිමි සම්මානය බල නැවි සීඑල්එස් ජයසිංහ නාවිකයා විසින් හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය සාමාන්‍ය නාවික පාබල වයිඑස්සී විජේසිරි දිනා ගන්නා ලදි. එමෙන්ම, දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බල නැවි එස්පීඩීඒඑස් මිගාර විසින් දිනා ගන්නා ලද අතර, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි පුහුණුවන්නා වශයෙන් සාමාන්‍ය නැවි එච්එම්එච් චතුරංග සම්මාන හිමි කර ගන්නා ලදී.

මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් විශේෂ සංදර්ශණයක් සහ දියේ ගිලී ආපදාවටපත් පුද්ගලයින් වෙත සහන සැලසීමේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක්ද සිදු කරන ලදී.

කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගඋපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම ඇතුළු විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.