නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා දින සැමරුම් වැඩසටහනක් උත්කර්ශවත් අයුරින් පවත්වයි

මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු 08 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

“අභියෝගයට තේරීමක්” යන 2021 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින තේමාව පෙරදැරිව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මගින් ගෘහණියක ලෙස තම නිවසේ පාලනයද මවක්, බිරිඳක්, දියණියක් ලෙස ඇගේ භූමිකාවන්ගේ වගකීමද නිහඬව, එහෙත් අප්‍රමාණ ධෛර්යයෙන් සහ කැපවීමෙන් යුතුව ඉටු කරමින් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කැප වන කන්තා නිළධාරීන් සහ කාන්තා නාවිකයින්ගේ මෙන්ම, දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ශක්තිමත් කරන නාවික පුද්ගලයින් හට දිරියක් වන ඔවුන්ගේ භාර්යාවන්ද මෙම කන්තා දින සැමරුම් වැඩසටහන මඟින් ඇගයීමට ලක් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

තවද, කාන්තා දින සැමරුම් වැඩසටහනට සමගාමීව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයක් මත සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය, ප්‍රනීත් අභයසුන්දර මහතාගේ ප්‍රධාන සංස්කරණයෙන් යුතුව විද්වතුන් රැසක් විසින් ඉදිරිපත් කරන ලද ඉතා හරවත් ලිපි, නිර්මාණ, සාකච්ඡා සහ අදහස් එක්කොට සම්පාදනය කරන ලද ‘සිඳුලිය’ විශේෂ සඟරාව එළිදැක්වීම සිදු කෙරුණු අතර, එම සඟරාවෙහි ප්‍රථම පිටපත් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය වෙත සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.

එමෙන්ම, යහපත් පවුල් සබඳතාවක් සඳහා නිරවුල් මනසක් තබා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රවීණ මනෝ චිකිත්සක හා මනෝ උපදේශක අමා දිසානායක මහත්මියගේ දේශණයක්ද, කාන්තාවන්ගේ රුචිකත්වය අනුව ඔවුන්ගේ දැනුම සහ කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් ප්‍රවීණ සූපවේදී දේශබන්දු ටී පබිලිස් සිල්වා මහතාගේ ඉවුම් පිහුම් වැඩසටහනක් ද, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුනීතා කොතලාවල මහත්මියගේ රූපලාවණ්‍ය වැඩසටහනක් සහ ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි ජීඩබ් ස්වර්ණා ජයන්ති මහත්මියගේ මැහුම් වැඩසටහනක් ද යන විශේෂ අංගයන් නාවික හමුදා සේවා වනිතා කාන්තා දින සැමරුම් වැඩසටහන සඳහා එක් කර තිබිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි කුමාරි වීරසිංහ මහත්මිය ඇතුලු සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රුවන් පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් එස්වීජේඑන් සමරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, ආඥාපති ස්වේච්ඡා නාවික හමුදාව රියර් අද්මිරාල් සනත් උත්පල, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනෙවිරත්න ඇතුලු ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.